හුදෙක්

බුදුදහම සිංහලෙන්

අනිච්ච වදනේ වහරක විවරණය සූත්‍ර පිටකයට ගැලපේද?

කලින් ලිපියේ අප පෙන්වා දුන්නේ වහරක බොදු කණ්ඩායමේ අනිච්ච වදනේ විවරණය ඒ විවරණය තුලම විසංවාදයක් වන බව ය. මේ ලිපිය වැයවන්නේ පාලි සූත්‍රාගත අදහස් සමග වහරක විවරණය සසඳා බැලීමට ය.

අපේ සොයා බැලීම් වලදී සම්ප්‍රදායික මතය (අනිච්ච යනු අනිත්‍ය බව) පිළිගන්නවුන් අතරින් මෙම අලුත් විවරණය  ත්‍රිපිටක ධර්මයට ගලපා සිදුකළ විවරණයක් හමු නොවිනි.

“නිර්වාන ධර්ම” වෙබ් අඩවියේ වහරක විවරණය ධර්මය විකෘති කිරීමක්ද යන ප්‍රශ්නය ගැටුමකින් තොරව සමනය කිරීමේ වෑයමක් දරා ලිපි කිහිපයක් ලියා තිබෙනු දුටිමි. ඒ මතය අනුව නව විවරණය ඇත්තේ සම්මත විවරණය තේරුම්ගැනීමට අපහසු අයට අනිච්ච යන්න තේරුම්කර දීම සඳහා ය. මෙය පිළිගත හැකි කතාවක් නොවන්නේ පැරණි විවරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටත් නව විවරණය එදා මෙදා තුර “සැඟවුණු බොදු මගෙන්” සොයා ගැනුණු වැදගත්ම නියමය මෙන් ප්‍රචාරයටත් කිරීමට වහරක අනුගාමිකයන් දරන දැඩි උත්සාහය නිසාය. මෙය මුල්වරට දකින අසන කෙනෙකුට “මේක නොදැන නිවන් යන්න බෑ” වැනි අදහසක් දෙයි. ඇත්තටම වහරක විවරණය අතිරේක විවරණයක් ලෙස ගන්නේ නම් මෙය කතා කිරීමට තරම්වත් ප්‍රශ්නයක් උපද්දවන්නේ නැත. ධර්මය තම තම නැණ පමණින් ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් දොස් නොකිවයුතු ය යන්න මගේද අදහස ය. ප්‍රශ්නය ඇත්තේ මේ දෘෂ්ටිය ග්‍රහණය කරගෙන අභියෝග කරමින් හැසිරෙන්නේද වහරක සාමාජිකයන්ම වීම ය.

අපට හමුවූ තවත් ලිපි වල පූජ්‍ය අභයරතනාලංකාර හිමියන් ධර්මය විකෘති කරන්නේ ය යන චෝදනාව පමණක් නගා තිබුණි. චෝදනාවට හේතුව කුමක්ද යන්න කියා නොතිබුණි. එසේ කියා නිහඬ වීම අවලාද නැගීමක් වෙයි. එය බුද්ධාවවාදය අනුව කටයුතු නොකර වහරක කණ්ඩායමට මෙන්ම ධර්මය පිළිබඳ නිරවුල් අදහසක් ලබාගැනීමට කැමති බෞද්ධයන්ටද කරන අසාධාරණයකි. වහරක විවරණය දුර්වල වුවත් ඔවුන් මතුකරගෙන ඇති ප්‍රශ්නය සාධාරණය. මෙය ඕනෑම කෙනෙකුට අනිච්ච > දුක්ඛ > අනත්ත අතර සම්බන්ධය ගැන ඇතිවිය හැකි ප්‍රශ්නයකි.

මේ උත්සාහය අපේ ශක්ති ප්‍රමාණයෙන් යම් විවරණයක් කිරීමටයි. මම නිශ්චිත කරුණු කිහිපයකට විවරණය සීමා කරමි. මෙය කිසිසේත් සර්ව සම්පූර්ණ නොවන අතර අනිච්ච පදයේ අර්ථය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කිරීම ත්‍රිපිටක උගතුන්ට සහ ධර්මධරයන්ට භාරකරමි.

මෙහිදී සූත්‍ර පිටකය සමග සංසංදනය කිරීම ගැන වචනයක් කිව යුත්තේ වහරක විවරණය සූත්‍ර දේශනාගත පාඨය විවරණය කිරීමේදී අභිධර්ම පිටකයේ ඇති ඇතැම් අර්ථ යොදාගෙන ඇතැයි හැඟෙන බැවිනි.
පළමුවෙන්ම භාග්‍යවතුන්වහන්සේ ධර්ම විනය පිළිබඳ ගැටලුවක් මතුවූවිට එය විසඳීමට සූත්‍රයට සහ විනයට ගැලපේද යන්න සොයා බලන ලෙස සතර මහාපදේශ වල පවසා තිබේ. (අතුරු ප්‍රශ්නයක්: සූත්‍ර සහ විනය යන දෙකොටස හැරුණු කොටත් ධර්මය සැලකියයුතු පමණින් භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන්පෑ අවදියේම තිබෙන්නට ඇති බව මෙයින් ගම්‍යවේද? අභිධර්මය සහ අනෙකුත් ප්‍රකීර්ණක කොටස්)
දෙවනුව දැනට පිළිගන්නා විවරණය දේශනා සමග සැසඳිය හැකි ආකාරයක් පෙන්වාදීමට මෙම ලිපිය යොදාගැනේ.

අපි නැවතත් වහරක මතයට උදාහරණයක් ලෙස දැක්වෙන කොටසක් උපුටා දක්වමු.

 

…බුද්ධත්වයෙන් පසු පළමු ධර්ම දේශනාවේදී උන්වහන්සේ දුක පිළිබඳව පැහැදිලි ප‍්‍රකාශයක් කළා.

ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප‍්‍රියෙහි සම්ප‍්‍රයෝගෝ දුක්ඛෝ, ප‍්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යං පිච්චං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා

වශයෙන් සත්ත්වයන් විඳින දුක් ගොනු කොට ප‍්‍රකාශ කළා. එසේනම් මේ දුක් කොටස්වලට සත්ත්වයන් විඳින දුක් සියල්ල ඇතුලත් විය යුතුයි. මින් බැහැර වෙනත් දුකක් කිසිවෙකුට ප‍්‍රකාශ කරන්න බෑ. බුදුපියාණන්ට අත්හැරුන දුකක් තිබිය නොහැකියි. එසේම මජ්ජිම නිකාය (3) 512 පිටුවේ එන සච්ච විභංග සූත‍්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් බුදුන් වදාළ දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව කෙරෙන විග‍්‍රහය තවදුරටත් මෙසේ පැහැදිළි කළා.

කථමංචාවුසෝ දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණංපි දුක්ඛං, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසාපි දුක්ඛා, යංපිච්ඡුං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා.

මෙම සච්ච විභංග සූත‍්‍රයෙන් “යංපිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන්න විස්තර වී ඇති සැටි බලමු. අහෝ අපි ජාති ස්වභාවය ඇත්තෝ නොවන්නමෝ නම් මැනවි. උප්පත්තිය අප වෙත නොඑන්නේ නම් මැනවි. තෙල ඉච්චායෙන් නොලැබිය හැක්කකි. මෙයද යං පිච්ඡං (යම්පි  ඉච්ඡං) නොලබති, මෙයද  යම් ඉච්ඡාවක් නොලබානම් එය දුකය යන්නයි. මෙසේම ජරා, මරණ, ශෝක, පරිදේව ආදිය ගැන ද අපට එම දුක් නොඑන්නේ නම් මැනවි වශයෙන් අප කැමැත්තක් ඇතිකර ගත්තාට, එනම් ඉච්ඡාවක් ඇතිකර ගත්තාට එම ඉච්ඡුාව අපට නොලැබෙන්නේමය. සච්ච් විභංග සූත‍්‍රයේ ඉහත දක්වා ඇති පරිදි ලෝකයේ ඇති සියළුම දුක් මෙම “යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන කොටසට ඇතුලත් වන බව ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට තේරුම් ගන්න පුලුවන්. … යම් පිච්ඡුං නලබති වෙනුවට අනිච්ච (අන් + ඉච්ච) යන පදය හරියටම ගැලපෙනවා. එසේනම් ලෝකයේ ඇති සියළුම දුක් අනිච්චතාවය හෙවත් කැමති සේ නොලැබීම නිසා හටගන්නා බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා නොවේද? “යද නිච්චං තං දුක්ඛං” යන පදයට මෙය හරියටම ගැලපෙන බව දැකගන්න. මෙම සච්ච විභංග සූත‍්‍රය නොයෙක් විට මා කියවා ඇතත්, “යං පිච්චං නලබති තම්පි දුක්ඛං” යන්නට මුළු ලෝකයේම දුක් අඩංගු කළ හැකි බව මට පසක් කර ගැනීමට නොහැකි වුනා. මට එය ඒත්තු ගියේ අපේ වහරක ගරු ලොකුහාමුදුරුවන් වහන්සේ මෙම කරුණ මතුකර පෙන්වා දුන් පසුවයි. මෙන්න දහමේ සැඟවුණු වැදගත් තැනක්. ලෝකයේ සියලූ දුක් “යං පිච්ඡුං නලබති තංපි දුක්ඛං” හෙවත් “අනිච්චතාවය” නිසා හටගන්නා බව නිවන් දක්නා කැමති සියල්ලෝ විසින් අවබෝධ කර ගනිත්වා!..”

 

මෙහි වහරක සාමාජික මහතා දක්වන තර්කය නම් අදාල කොටසේ “යංපිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන්නෙන් අනෙකුත් දුක් පිළිබඳ උදාහරණ වලට අනිච්ච සම්බන්ධවෙන ආකාරය දැක්වෙන බව ය. වැඩි විස්තරයක් නැති මේ උදාහරණයේ සිතැඟි පරිදි පැවැත්වීමට නොහැකිවීම යන කොටසේ මුලින් විස්තර කර ඇති දුක් පිළිබඳ උදාහරණ සම්බන්ධව යෙදිය හැකි බව නම් ඇත්තය. නමුත් එසේ වූ නිසාම එයින් අනිච්ච විවරණය ලෙස “යංපිච්ඡං නලබති” යන පාඨය ගන්නේ කෙසේද? ඊට හේතුව නම් දුක්ඛ පිළිබඳව මිස අනිච්ච පිළිබඳව අදාල කොටසේ සඳහනක් නැතිවීමයි. නැති දෙයක් එතැනට ඈඳීම අනවශ්‍ය වැඩකි.

මෙහි පැන නගින තවත් ප්‍රශ්නයක් නම් පිළිබඳ කලින් ලිපියේ උපුටා දක්වා ඇති ආකාරයට ජාතිපි දුක්ඛා යන්න පිළිබඳ දෙයාකාර අදහස් වහරක විවරණවලින් ගම්‍යවීමයි. උදාහරණයක් ලෙස තරුණවීම සැපය සහ මහලුවීම දුකය ආදී වශයෙන් ගෙනා විවරණ අනුව ජාතිය සැපද? දුකද?  එසේත් නැත්නම් ඇතැම්විට දුකයි ඇතැම්විට සැපයිද? යන්න ගැන මේ විවරණ අසන පිංවතා හට ගැටළුවක් මතුවේ.

වීරසිංහ මහතා වරදවාගත් මේ පාඨය ගැලපෙන්නේ අනිච්ච සම්බන්ධයෙන් නොව අනත්ත සම්බන්ධයෙන් බව පහසුවෙන් පෙන්වාදිය හැකියි (විස්තර ඉදිරියට). ඒ බැවින් මෙය වහරක විවරණය සඳහා සාක්ෂියක් නොවේ. මෙය සාක්ෂියක් ලෙස පෙනෙන්නේ වහරක විවරණය හෙවත් “අනිච්ඡ කතාව” නිවැරදිය යන අදහස පූර්ව නිගමනයක් ලෙස ගෙන මෙතැනට ආරෝපණය කිරීමෙනි.

මෙහි සැරියුත් මහ රහතන්වහන්සේ දක්වන්නේ දුක්ඛ සත්‍යය සඳහා බොහෝදෙනා අසා ඇති උදාහරණ සහ ඒවා පිළිබඳ විවරණ ය. අනෙක් අතට වීරසිංහ මහතා කියන අයුරින් “යංපිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන අයුරින් උන්වහන්සේ පංච උපාදනස්කන්ධය දුකක් ය යන්න විවරණය කොට නැත. එසේ විවරණය කිරීමට යුතු නම් උන්වහන්සේ “සංකිත්තේන..” යන්නට පසුව “යං කිච්චං ..” ආදී වශයෙන් දේශනා කරනු ඇත. එහෙත් විවරණය කුළුගන්වන්නේ පංචූපාදානක්ඛන්ධයේ දුක වශයෙනි. ඒ අනුව ඒ මහතා කියන සියලු දුක් එයට ඇතුලත් කර තිබිය යුතුය යන තර්කයද බිඳ වැටෙයි. සියලු දුක් ඇතුලත්ව ඇත්තේ “පංචූපාදානක්ඛන්ධ දුක”ට යයි සීතීම ඊට වඩා සහේතුකය.

අනිච්ච සඳහා වහරක විවරණය පිළිගත නොහැකි වගට ප්‍රමාණවත් කරුණු දැන් ඇති බැවින් අනිච්ච යන්නෙහි තේරුමට අනිත්‍ය යන්න ලැබුණේ කෙසේද යන්න දැන් බලමු. ඒ සඳහා සංයුත් සඟියේ ඛන්ධක වග්ගයේ පඤ්චවග්ගිය සූත්‍රය දෙසට හැරෙමු. මේ සූත්‍රය අසා පස්වග මහණුන්වහන්සේලා අරහත්වයට පැමිණි බව ප්‍රසිද්ධ කරුණකි. මෙම දේශනාවේ කලින් ලිපියේ කියැවුනු අනිච්ච => දුක්ඛ => අනත්ත අනුගාමී පාඨය දැක්වෙයි.

“…

භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි රූපය අනාත්ම ය. යම් හෙයකින් රූපය ආත්ම වී නම් එය ආබාධ පිණිස නොවෙයි. ආත්ම වී නම් මගේ රූපය මෙසේ වේවයි හෝ මගේ රූපය මෙසේ නොවේවයි {කැමති පරිදි හැසිරවීමට හැකි බව මෙයින් ඇඟවෙයි – කලින් කී පරිදි වහරක විවරණයේ අදහස ගැලපෙනුයේ මෙතැනටයි} ලැබෙන්නේද වෙයි. යම් හෙයකින් රූපය අනාත්මද එය ආබාධ පිණිස වෙයි. මගේ රූපය මෙසේ වේවයි මගේ රූපය මෙසේ නොවේවයි ලැබිය නොහැකිවෙයි.

භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි කුමක්ද සිතන්නේ? රූපය නිත්‍යද අනිත්‍යද? (රූපං නිච්චං වා අනිච්චං වා’ති?)

පස්වග මහණුන් වහන්සේ: අනිත්‍යයි ස්වාමිනි.(අනිච්චං භන්තෙ)

භා.ව. : යමක් අනිත්‍යයි නම් ඒ සැපද දුකද? (යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ති?)

ප.ම.ව.: දුකයි ස්වාමිනි.(දුක්ඛං භන්තෙ)

භා.ව.: යමක් අනිත්‍යද, දුක් ද වෙනස්වෙනදෙයක්ද “මෙය මගේ ය, මෙය මම වෙමි. මෙය මගේ ආත්ම”යි දක්නට සුදුසුද?(යං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම, එසො’ හමස්මි, එසො මෙ අත්තා’ති?)

ප.ම.ව.: නැත ස්වාමිනි (නො හෙතං භන්තෙ)

භා.ව. : එහෙයින් මහණෙනි අතීත, අනාගත, වර්තමාන, ඇතුලත හෝ පිටත, රළු හෝ සියුම්, දුර හෝ ලඟ කිසියම් රූපයක් ඇත්නම් “මෙය මගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මගේ ආත්ම නොවෙයි” ලෙස මෙය {මෙසේ හටගත්? – යථා භූතං} බව හරි නුවණින් දැකිය යුතුයි.

…”

මෙහි අවසාන නිගමන පාඨයෙන් කියවෙන්නේ අනාත්ම ලෙස දකින ආකාරය බව භාග්‍යවතුන්වහන්සේ වදාරන මුල් පාඨයෙන් පෙනීයා යුතුයි. ප්‍රශ්නෝත්තර වශයෙන් විමසන්නේ එය සහේතුකව තහවුරු කිරීමට හැකි පිළිතුරු අසන්නගෙන්ම ගැනීමටයි. මෙහි “විපරිණාමධම්මං” යන පාඨය අනිච්ච යන්නට අනිත්‍ය අර්ථය යෙදීම පිළිබඳ උදාහරණයක් ලෙස ගත හැකිය. විපරිණාම යන්න අනිත්‍ය යන්නට අර්ථය ලෙස ගැනීමට හේතුව කුමක්ද? විපරිණාම යනු අන් ආකාරයකට පත්වීම ය. ඉහත පාඨය අනුව අනිත්‍ය මගින් දුක්ඛ අනුගමනය වෙයි. විපරිණාමයට පත්වන කිසියම් දෙයක් නැවත නැවත පිරියම් කිරීම, අඩුපාඩු සැකසීම, වැඩි තැන් කැපීම, පවත්වාගෙන යාම සඳහා වෙහෙස වීමට භාරකරුට සිදුවීම එහි ඇති දුකයි. මේ තත්වය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම යෙදේ. සරල උදාහරණයක් ලෙස කුඩා දරුවාගේ ශරීරය වෙනස් වෙනවිට ඇඳුම් ආදිය අලුතින් මැහීමට සිදුවෙයි. මුල් උදාහරණයේ අයුරින් මෙසේ වේවා කියා සිතීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත. කල්පනා කර බලන්න. කෙසේ වුවත් මෙය භෞතිකවාදයේ එන නියමයක් මෙන් දැඩිව නොගෙන ප්‍රයෝජ්‍ය වටිනාකම සලකා සාමාන්‍ය ලෝකයේ උදාහරණ සඳහා යෙදිය යුතුයි.

ලිපිය දිගුවීම වැලැක්වීමට අනිත්‍ය, දුක්ඛ යන දෙකම අනාත්ම යන්න අනුගමනය කරන්නේ කෙසේද යන්නද කෙටියෙන් දක්වමි. ආත්ම යන ලක්ෂණයක් වී නම් එහිදී සිදුවිය යුත්තේ අනිත්‍ය දේ මෙන් වෙහෙසවෙමින් දුකසේ බලාගැනීමක් නොව වෙහෙස නොවී මුලින් දක්වන අයුරින් තමාට ඕනෑ හැටියට පවත්වාගැනීමකි. දෙවනුවකී ලක්ෂණ ඇති යමක් නම් එහි ඇත්තේ භාරකරු කැමති පරිදි රූපය පැවැත්වීම නොව රූපය වෙනස් වන පරිදි භාරකරුට “නැටීමට” සිදුවීමයි. ලෝකයා මගේ රූපය යැයි ගත්තද රූපය වසඟයේ නැටවෙන්නේ ලෝකයාමයි. මේ කරුණින් රූප,වේදනා,…,විඤ්ඤාණ අනාත්මයි යන්න තේරුම්ගත යුතු ය.

Advertisements

අනිච්ච වහරේ වහරක විවරණය හරිද?

කලින් ලිපියක වහරක බොදු කණ්ඩායමේ ධර්මාවබෝධය පිළිබඳ මතවාදය ගැන අපේ විවරණය දැක්වූවෙමු.

පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ වඩාත්ම සුවිශේෂ සොයාගැනීම ලෙස සඳහන් කෙරෙන අනිච්ච යන වචනයේ සැඟවුණු අර්ථය පිළිබඳ අපේ මතය මෙම ලිපියට පාදක වෙයි.

මේ කාරණය වඩාත් වැදගත් වන්නේ මගපල ලැබීමට වහරක හිමියන්ගේ සහ ඒ කණ්ඩායමට එක්වීමේ වැදගත්කම වෙසෙසින්ම අන්තර්ජාලයේ ප්‍රචාරය කරන අවස්ථාවල ඒ කණ්ඩායමේ උපාසක මහතුන් විසින් සෙස්සන්ට අභියෝග කිරීම සඳහා බොහෝවිටම යොදාගන්නා තර්කය මෙය බව අපට පෙනීගිය බැවිනි. මේ ලිපිය තරමක් දිගුවනු ඇත්තේ පසුබිම් කාරණා ගෙනහැර දැක්වීමේදීය.

පූජ්‍ය අභයරතනාලංකාර හිමියන්ගේ තර්කය විවිධ උදාහරණ ආශ්‍රයෙන් පෙන්වාදෙනු වුවද නිල වෙබ් අඩවියෙන් උපුටාගත් කොටසක්ම මෙහි පලකරමි.

“…  මම ඔබට නිදර්ශණයක් හැටියට  කියන්නම්  ත‍්‍රිලක්ෂණය  ගැන  වහරක  ලොකු හාමුදුරුවන්ගේ  විග‍්‍රහය  කොහොමද  මේ  තරම්  බුද්ධිගෝචර වෙන්නේ කියලා. අනිච්ච, දුක්‍ඛ, අනත්‍ථ කියන මේ ත‍්‍රිලක්ෂණය ගැන පාලියෙන් නිවැරදිව සටහන් වෙලා තියෙනවා. සංයුක්ත නිකායේ හතර වැනි කොටසේ අජ්ජානිච්ච සූත‍්‍රයේ මේ ගැන පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. මේක ඇත්තටම කාගෙන්වත් ප‍්‍රමුඛත්වයක් ලැබුණේ නැති සූත‍්‍රයක්. ඒත් බුදු දහමේ පිඬු කළ අරුත කැටිකර ගත්තු ත‍්‍රිලක්ෂණය ගැන මේ සූත‍්‍රයේ සටහන් වෙනවා.

චක්ඛුං භික්ඛවේ අනිච්චං
යද නිච්චං තං දුක්ඛං
යං දුක්ඛං තදනත්තා

මෙහි නිවැරදි අර්ථ තමයි ඇස අනිච්චයි, යමක් අනිච්ච නම් එය දුකයි, යමක් අනිච්ච නම් දුක නම් එය අසාරයි, අනත්තයි. ඔය අනත්ත කියන පදයේ අර්ථය අභිධර්මයේ විග‍්‍රහ වෙනවා. ඒ  අසාරකට්ඨෙන  අනත්තා  කියලයි.  එතකොට  අසාර  කියන අර්ථයෙන් තමයි අනත්තා යෙදෙන්නේ. මේ කරුණු සිංහලට පරිවර්තනය  කිරීමේ  දී  ලොකු  ප‍්‍රශ්න  ඇතිවෙලා  තියෙනවා. මොකද  මේ  පරිවර්තන  කළ  අපේ  ගෞරවනීය  භික්ෂූන් වහන්සේලා රහත් වුණු උදවිය නොවෙයි නේ. උන්වහන්සේලා මේ  පරිවර්තන  කරලා  තියෙන්නේ  භාෂා  දැනුම  මූලික  කර ගෙනයි. එතන දී තමයි මේ ප‍්‍රශ්නය පැනනඟින්නේ.

(1) අනිච්ච නම් දුකයි, දුක නම් අනත්තයි කියන පද සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි කියලයි

(2) මෙන්න  මේ  ගැටලූව  තමයි  අපට  තිබුණේ.  ඒ  කියන්නේ ඉන් කියවෙන්නේ යමක් අනිත්‍ය ද, එය දුකයි කියලයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන සොබාවක් ඇති කියන තේරුමනේ.

(3) ඉතිං වෙනස් වෙන සොබාවය දුක නම්, වෙනස් වෙන හැම දෙයකින්ම හැම අවස්ථාවේම දුක ඇති වෙන්නට එපැයි. වෙනස් වෙන කිසිම දෙයකින් සැපක් ලැබෙන්නට විදිහක් නැහැනේ. ඒ ගැන නිදර්ශනයක් බොහොම කෙටියෙන් සරලව කියනවා නම්,  මනුෂ්‍යයෙකුගේ  ජීවිතයේ  මුල්  දශක  තුන  ඇතුළත  ඒ පුද්ගලයා  වෙනස්  වෙන  ආකාරය  ගැන,  ඒ  පුද්ගලයාට  හෝ අන් අයට තියෙන්නේ දුකක් ද? කුඩා දරුවකුව ඉපදිලා ඇති දැඩි වෙලා ළමා වයස පහු කරගෙන තරුණ වයසට පත්වෙලා පිරිපුන්  පුද්ගලයෙක්  විදිහට  වසර  තිහක්  ඇතුළත  සිදුවන වෙනස්  වීම්  ගැන  තියෙන්නේ  දුකක්  ද?  ඇත්තටම  එහෙම වෙනස් නොවුණා නම් නේද දුක? හැමදාම කුඩා දරුවකුගේ තත්ත්වයේම ප‍්‍රමාණයෙන් හෝ නො වැඞී හිටියා නම් ඒ ගැන ඇතිවන්නේ  දුකක්  නේද?  එහෙම  බැලූවහම  අර  වෙනස්වීම සැපක් නේද? සතුටක් නේද?

(4) උන්වහන්සේගේ විග‍්‍රහයට අනුව ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට අනුව නොවීම හෝ නොතිබීම. ඉතිං මේ මූලික විග‍්‍රහයට අනුව බැලූවහම මේ  අනිච්ච කියන පදයට අනිත්‍ය කියලා අපි යෙදුවොත් අර මූලික අර්ථයම අවුල් වෙලා සියල්ල වෙනත් දිසාවකට යොමු වෙනවා. හේතුව, මම දකින විදිහට මේ තමයි බුදු දහමේ සාරාර්ථය. මෙතන අපි අවුල් විදිහට තේරුම් ගත්තෝතින් අපට ඉන් ඉදිරියට කිසිවක් නිවැරදිව වටහා ගන්නට බැරි වෙනවා. බුදුන්ගේ ශ‍්‍රී මුඛයෙන් ධර්මය දේශණා වුණාට පසුකාලීනව ලියැවුණු කිසිම අර්ථකතාවක මේ කාරණාව, මේ විදිහට නිවැරදිව විග‍්‍රහ වෙලා නැහැ. අන්න ඒ හින්දයි අපට අපේ වහරක ලොකු හාමුදුරුවන් වහන්සේගේ වටිනාකම ඉතා ඉහළින් දැනෙන්නේ.

වින්සර් හොස්පිටල් හි සභාපති
වෛද්‍ය ආර්. පී. වීරසිංහ (MBBS/DFM/MCGP/MPFAM)

(උපුටනයේ අංක දමා ඇත්තේ මා විසින් බව කරුණාවෙන් සලකන්න). (1) න්  කියවෙන්නේ සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වල හමුවන බුද්ධදේශිතය සාමාන්‍යයෙන් සිංහලට පෙරලන ක්‍රමයයි. එයින් කියැවෙන්නෙ “අනිච්ච” ලක්ෂණය “දුක්ඛ” ලක්ෂණයට හේතුවන (යොමුවන) ආකාරයත් “අනිච්ච”, “දුක්ඛ” ලක්ෂණ දෙකම “අනත්ත” ලක්ෂණයට හේතුවන (යොමුවන) ආකාරයත් ය. බොහෝදෙනා මේ පාඨය අසා ඇතිවාට සැක නැත. විශේෂයෙන්ම සූත්‍ර දේශනා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මහමෙවුනා කණ්ඩායමේ දම් දෙසුම්වල මේ පාඨය මා නොයෙක්වර දැක ඇත.

මෙය මෙතුවක් කල් කිසිවෙකුටත් තේරුම්ගත නොහැකි ලෙස තිබූ පාඨයක් නොවූවද ලිපිය ලියූ මහත්මයා (2) හි සඳහන් කරන්නේ ඒ මහතාට තිබූ ගැටලුවක් ලෙස ය. සැකයේ වාසිය ඒ මහතාට දී අපි එය එසේ යයි පිළිගනිමු.

වහරක කණ්ඩායමේ අතිශය බුද්ධිගෝචර යැයි කියැවෙන තර්කය ඇත්තේ අංක (3) යටතේ ය.

ඒ තර්කය විවරණයේ පහසුව සඳහා සාධාරණ වශයෙන් මෙසේ දක්වමි. මෙහි පාලි පරිවර්තනය නොකර කලවමේ ලියා ඇත්තේ සිංහල අර්ථය පිළිබඳ මත භේදයක් අප සාකච්ඡා කරන බැවිනි.

ඉහත පාලි පාඨයේ අර්ථය අනුව භාග්‍යවතුන්වහන්සේ දක්වන්නේ යමක් “අනිච්ච” නම් එය “දුක්ඛ” වන බවයි. යම් හෙයකින් යමක් “අනිච්ච” වී එය “සුඛ” වේ නම් මේ බුද්ධ වචනය වරදියි. එසේ නම් “අනිච්ච” යන්නට දෙන විවරණය මේ පාඨයට අනුව සෑමවිටම “දුක්ඛ” යන්නට හේතුවන අයුරින් දෙන විවරණයක් විය යුතුය.

මෙහිදී වහරක මතය “දුක්ඛ” යන්නට සාමාන්‍යයෙන් ප්‍රචලිත දුක යන අර්ථය පිළිගනියි. ප්‍රශ්නය ඇත්තේ අනිච්ච යන පාලි පදය සම්බන්ධයෙනි.

දැන් ඉහත (3)න් (සහ තවත් උදාහරණ ඇසුරෙන්) වහරක සාමාජිකයන් තර්ක කරන්නේ වෙනස්වීම සෑම විටම දුකට හේතු නොවන බවත් ඇතැම් විට සැපට හේතු වන බවත් ය.

එනම්:

  • පුද්ගලයෙක් උපන්දා සිට තරුණවිය තෙක් වෙනස් වීම ගැන කැමති වෙයි. ඔහුම තරුණ වියෙහි සිට මහලු විය තෙක් වෙනස්වීමට අකමැති වෙයි. පලමු අවස්ථාවේ වෙනස්වීම සතුටට හේතුවුණු අතර දෙවන අවස්ථාවේ වෙනස්වීම දුකට හේතුවිය.
  • අන්තර්ජාලයේ සංවාදයකින් උපුටාගත් තවත් උදාහරණයකට අනුව ප්‍රභාකරන් කුඩාදරුවෙකුගේ සිට ත්‍රස්තවාදියෙකු දක්වා වෙනස් වීම අපගේ දුකට හේතුවූ අතර ඔහු ත්‍රස්තවාදියෙකුගේ සිට මලකඳක් දක්වා වෙනස්වීම අපගේ සතුටට හේතුවිය.

ඒ අනුව අනිච්ච යන්න අනිත්‍ය ලෙස සිංහලට පෙරලාගත් රහත් නොවූ අතීත සහ වත්මන් සෙසු බෞද්ධයන්ගේ මතය ඉහත තද කළු අකුරෙන් දැක්වෙන න්‍යායට අනුව බුද්ධදේශිතය සෑම විටම සත්‍ය වේ ය යන අරුතින් වැරදි වෙයි.

මේ පිළිබඳව මගේ විවරණයක් දීමට ඉක්මන් නොවී වහරක මතයට අනුව ඔවුන් විසින්ම මතුකරගත් ගැටලුවට පූජ්‍ය අභයරතනාලංකාර හිමියන්ගේ අනුගාමිකයන්ගේ බුද්ධිකලම්බනයට හේතුවී ඇති විසඳුම කුමක්ද යන්න බලමු. අංක (4) න් දැක්වෙන්නේ ඒ විසඳුමයි.

” උන්වහන්සේගේ විග‍්‍රහයට අනුව ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට අනුව නොවීම හෝ නොතිබීම.”

(අතුරු ප්‍රශ්නය: මේ අනුව “අනිච්ච” යනුවෙන් ලියැවී ඇත්ත හරිනම් ලියැවිය යුත්තේ “අනිච්ඡ” වශයෙන්ද?)

වහරක උපාසක මහතාගේ අනිච්ච පිළිබඳ විවරණය මේ කෙටි වාක්‍යයෙන් අවසන් වන අතර එයින් තමන් ඉගෙනගත් ගැටලුව විසඳෙන්නේ යැයි වහරක අනුගාමිකයන් රාශියක් විශ්වාස කරන බව අන්තර්ජාලයේ දැකිය හැකිය. අපි ඒ අදහස බාරගැනීමට හැකි දැයි බැලීමට අනිච්ච යනු කැමැති පරිදි නොවීම යන්න ආදේශ කොට ඉහත උදාහරණම නැවත කියවමු.

  • පුද්ගලයෙක් උපන්දා සිට තරුණවිය තෙක් කැමැත්තට අනුව නොවීම ගැන කැමති වෙයි. ඔහුම තරුණ වියෙහි සිට මහලු විය තෙක් කැමැත්තට අනුව නොවීමට අකමැති වෙයි. පලමු අවස්ථාවේ කැමැත්තට අනුව නොවීම සතුටට හේතුවුණු අතර දෙවන අවස්ථාවේ කැමැත්තට අනුව නොවීම දුකට හේතුවිය.

මෙහිදී පලමු උදාහරණයෙන් කියැවෙන මුල්වාක්‍යය පරස්පර විරෝධී වෙයි. දෙවන වාක්‍යය පුනරුක්තියක් (කී දෙය නැවත කීම) වෙයි. මේ අවුල සිදුවී ඇත්තේ ඇයි?
මේ වියවුල ලිහාගැනීමට නම් පලමු වැකියේ කැමැත්තට අනුව වීම යනුවෙන් සැකසිය හැකි අතර දෙවන වැකියේ පුනරුක්තිය ඉවත් කළයුතුය. නමුත් එසේ කිරීමෙන් “අනිච්ච” යන්නට එකිනෙකට පරස්පර තේරුම් දෙකක් ලැබෙයි!

එහිදී අපි නැවතත් ප්‍රශ්නය කරා යොමුවන බව පැහැදිලිද? එයින් සිදුවන්නේ අදාල බුද්ධදේශිත පාඨය ජීවිතයේ දෙවන කොටසට පමණක් සීමා වීමයි. කලින් අනිච්ච යන්නට අනිත්‍ය යෙදීම වැරදි බව කියමින් අලුත් විවරණයක් සොයාගියේ සෑම විටම සත්‍ය වන විවරණයක් තිබියයුතු යැයි උපකල්පනයෙනි. දැන් ඒ අලුත් විවරණය ප්‍රශ්නය “විසඳන්නේ” එපරිදිම ජීවිතයේ දෙවන කොටසට පමණක් දුක ඇතිවන අයුරිනි. මෙයත් විසඳුමක්දැයි සිතා බැලීම බුද්ධිමත් බෞද්ධයන්ටම භාර කරමු.
වැදගත් කරුණ නම් ඒ උදාහරණයේ නිගමනයෙන් කියැවෙන ආකාරයට මුල්ප්‍රශ්නය නොවිසඳී ඉතිරිවීමයි. “පලමු අවස්ථාවේ කැමැත්තට අනුව නොවීම සතුටට හේතුවුණු අතර දෙවන අවස්ථාවේ කැමැත්තට අනුව නොවීම දුකට හේතුවිය.” යනුවෙන් ගැනීම අර්ථශූන්‍ය වාක්‍යක් වන අතර වාක්‍යය අර්ථවත් කිරීමට “පලමු අවස්ථාවේ කැමැත්තට අනුව වීම සතුටට හේතුවුණු අතර දෙවන අවස්ථාවේ කැමැත්තට අනුව නොවීම දුකට හේතුවිය.” යනුවෙන් කරන අර්ථ විවරණයක් ප්‍රශ්නයට පිළිතුරක් නොවී පිළිතුරු දෙන්නා අමාරුවේ දමයි.

  • අන්තර්ජාලයේ සංවාදයකින් උපුටාගත් තවත් උදාහරණයකට අනුව ප්‍රභාකරන් කුඩාදරුවෙකුගේ සිට ත්‍රස්තවාදියෙකු දක්වා (අපගේ)කැමැත්තට අනුව නොවීම අපගේ දුකට හේතුවූ අතර ඔහු ත්‍රස්තවාදියෙකුගේ සිට මලකඳක් දක්වා (අපගේ)කැමැත්තට අනුව නොවීම අපගේ සතුටට හේතුවිය.

දෙවන උදාහරණයෙන්ද පෙනෙන්නේ වහරක විවරණය ප්‍රශ්නයට අතවත් තබා නැති බවය. එහි මුල් කොටස පමණක් අර්ථවත් වන අතර දෙවන කොටස අර්ථශූන්‍යය. දෙවන අවස්ථාවේ සතුටට හේතුවන්නේ අප කැමති පරිදි වීම මිස නොවීම නොවේ.

තවද බුද්ධ දේශිත පාඨයට වහරක බුද්ධිගෝචර විවරණය ඇතුල් කිරීමේදී චක්ඛුව අවුරුදු 30න් පසු අනිච්ච ය. 30න් පසු දුක්ඛ ය.. යනුවෙන් ව්‍යාතිරේක සහිතව කිවයුතුවෙයි. මෙය කුමන ආකාරයේ විවරණයක්ද?

  1. මේ අනුව අපට පෙනීයන්නේ වහරක කණ්ඩායමේ බොදු පිරිස “අනිච්ච”  යන්නේ විවරණය ලෙස දක්වන මේතාක් සැඟවී තිබී පූජ්‍ය අභයරතනාලංකාර හිමියන් විසින් සොයාගත්තේ යැයි කියන විවරණය සහේතුකව පෙන්වාදීමට තර්කයක් ඔවුන්වෙත නැති බව
  2. තමන් විසින් මතුකල ප්‍රශ්නය තමන් පිළිගන්නා විවරණයෙන් නොවිසඳෙන බව වහරක අනුගාමිකයන් තේරුම්ගෙන නැති බව
  3. ස්ව‍යං විරුද්ධාභාසයක් වන මතයක් විචාරයකින් තොරව ප්‍රචාරය කරන බව

 

යන කරුණුය.

මේ ලිපියේ දෙවෙනි කොටසක් ලිවීමට බලාපොරොත්තු වන අතර අලුත් විවරණය සූත්‍ර දේශනා සමගද නොපෑහෙන බවට කරුණු දක්වමි.

සීල සූත්‍රය සහ සෝතාපන්න වීම

එක් සමයක ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේත් බරණැස ඉසිපතන මිගදායේ වසති. එකල්හි මහාකොට්ඨිත තෙරණුවෝ සවස විවේකයෙන් නැගිට සැරියුත් තෙරණුවන් වෙත පැමිණ පිළිසඳර කතා නිමවා එකත්පස්ව හිඳ “ඇවැත් සාරිපුත්‍රයෙනි, සිල්වත් භික්ෂුව විසින් කවර ධර්ම නුවණින් මෙනෙහි (යෝනිසෝ මනසිකාතබ්බා) කළ යුතුද?”යි ඇසූහ.

“ඇවැත් කොට්ඨිත, සිල්වත් භික්ෂුව විසින් පඤ්චූපාදානක්ඛන්ධය අනිත්‍යයි, දුකයි, රෝගයකැයි, ගඩුවකැයි, පීඩාවකැයි, ආබාධයකැයි, අනුන්ගේයි, බිඳෙන්නකැයි, ශූන්‍ය යි, අනාත්මයි වශයෙන් නුවණින් මෙනෙහි කළයුතුයි. එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චූපාදානක්ඛන්ධයයි. සිල්වත් භික්ෂුව මෙසේ මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි නුවණින් මෙනෙහි කරන්නේ සෝවාන් ඵලය ලබන්නේය යන මෙය වෙයි.”

“ඇවැත් සාරිපුත්‍රයෙනි, සෝවාන් ඵලය ලැබූ භික්ෂුව විසින් කවර ධර්ම නුවණින් මෙනෙහි කළ යුතුද?”

“ඇවැත් කොට්ඨිත, සෝවාන් ඵලය ලැබූ භික්ෂුව විසින්ද පඤ්චූපාදානක්ඛන්ධය අනිත්‍යයි, දුකයි, රෝගයකැයි, ගඩුවකැයි, පීඩාවකැයි, ආබාධයකැයි, අනුන්ගේයි, බිඳෙන්නකැයි, ශූන්‍ය යි, අනාත්මයි වශයෙන් නුවණින් මෙනෙහි කළයුතුයි. එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චූපාදානක්ඛන්ධයයි. සෝවාන් ඵලය ලැබූ භික්ෂුව මෙසේ මේ උපාදානස්කන්ධ පහ කෙරෙහි නුවණින් මෙනෙහි කරන්නේ සකදාගාමි ඵලය ලබන්නේය යන මෙය වෙයි.”

“.., සකදාගාමි ඵලය ලැබූ භික්ෂුව විසින් ..?”

“…, සකදාගාමි ඵලය ලැබූ භික්ෂුව විසින්ද පඤ්චූපාදානක්ඛන්ධය අනිත්‍යයි, දුකයි,…., අනාත්මයි වශයෙන් … අනාගාමි ඵලය ලබන්නේය යන මෙය වෙයි.”

“.., අනාගාමි ඵලය ලැබූ භික්ෂුව විසින් ..?”

“…, අනාගාමි ඵලය ලැබූ භික්ෂුව විසින්ද පඤ්චූපාදානක්ඛන්ධය අනිත්‍යයි, දුකයි,…., අනාත්මයි වශයෙන් … අරහත් ඵලය ලබන්නේය යන මෙය වෙයි.”

“.., අරහත් ඵලය ලැබූ භික්ෂුව විසින් ..?”

“…, අරහත් ඵලය ලැබූ භික්ෂුව විසින්ද පඤ්චූපාදානක්ඛන්ධය අනිත්‍යයි, දුකයි,…., අනාත්මයි වශයෙන් නුවණින් මෙනෙහි කළයුතුයි. රහතුන් හට ඊට වැඩි දෙයක් කිරීමට නැත. කළ දේ නැවත කිරීමක්ද නැත. එසේ වුවත් මේ ධර්ම වඩන ලද්දේ බහුලව කරන ලද්දේ දිටුදැමියෙහි සැප විහරණයත් සිහි නුවණත් පිණිස වෙයි.”

පසුවදන: කලකට පෙර වහරක බෞද්ධ කණ්ඩායමේ උපාසක මහතෙකු විසින් අන්තර්ජාලයට එකතු කර තිබූ දෘශ්‍ය සටහනක සෝවාන් ඵලය පිළිබඳ නව මතයක් දකින්නට ලැබුණි. සබැඳියක් දීමට නැති වුවත් එහි තිබූ මූලික කරුණු (මතකයෙන්) මෙසේයි  සබැඳිය පසුව ලැබුණි. මෙහි මුල් කොටසේ අදාල කරුණු සඳහන්ය.

වහරක මතය මෙසේයි:

  • සූත්‍ර දේශනා වලට අනුව නිවන් දුටු අය සෝවාන් වී ඇත්තේ බණ ඇසීමෙන් මිස භාවනා කිරීමෙන් නොවේ.
  • භාවනා කිරීමෙන් සෝවාන් ඵලය ලබන්නේ සම්මා සම්බුදුවරු සහ පසේ බුදුවරු පමණි. සෙස්සන්ට ඒ ක්‍රමය අදාල නොවෙයි.
  • සෙස්සන් භාවනා කරන්නේ සෝවාන් ඵලයෙන් ඉහල මාර්ග සඳහාය.
  • මේ නිසා භාවනා කර ප්‍රථම මාර්ග ඵලය ලබන්නට උත්සහ දරන්නන්ගේ උත්සහය ප්‍රතිඵල රහිත වන අතර කළයුත්තේ මාර්ගඵල ලාභී බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් බණ අසා ප්‍රථම මාර්ග ඵලය ලබා ගැනීමය.

මවිසින් වෙසෙසින්ම ඉහත සීල සූත්‍රය උපුටා දැක්වූයේ ඒ මහතා වැරදි දෘෂ්ටියකට බැසගෙන ඇති බව පෙන්වාදීම සඳහා යි.

යම් හෙයකින් එකම ප්‍රතිපදාවෙන් සතර මගපලම ලැබිය හැකි නම් සෝවාන් වීම බණ ඇසීමෙන් මිස භාවනාවෙන් විය නොහැකියැයි කීම වැරදි බව පැහැදිලි වෙයි.

ඒ මහත්මාගේ මතය නිවැරදි නම් සීල සූත්‍රය හෝ වැරදි වෙයි. සූත්‍රය සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවැරදි නම් ඒ උපාසක මහතාගේ මතය වැරදි ය. එබැවින් සූත්‍ර දේශනාවලින් විවිධ කණ්ඩායම් වල දෘෂ්ටි,වාද ආදිය තහවුරු කරන්නට සාක්ෂි සොයාගෙන අපේ මතය පමණක් නිවැරදිය සෙස්සෝ මුලාවී ඇතැයි පැවසීමට යාම ප්‍රඥා ගෝචර නොවේ.

මේ රටාවේ සූත්‍ර තවත් වෙයි. මුළු සංයුක්ත නිකායම පුරාම මෙබඳු කමටහන් ඇත්තේය. ඒ තේරුම් ගැනීමට කුසලතාවය සහ පිළිපැදීමට ඉඩක් ඔබ හැමට  ඇති වේවා !

ප.ලි.: වහරක ස්වාමින්වහන්සේ ධර්මාවබෝධය (සෝවාන්) ලබා ඇත්තේ පෙර භවයක බව කියවෙන අතර උන්වහන්සේ මේ භවයේ ස්වශක්තියෙන් සෙසු මාර්ගපල වලට පැමිණ තිබෙන බවද කියැවේ. උන්වහන්සේ මාර්ගඵල ලැබූ අවස්ථාව පිළිබඳ විස්තර මෙම සබැඳියෙන් බැලිය හැකිය.

රන්වන් ආලෝක ධාරාවකින් මගේ ශරීරය නැහැවී ගියා

සුගතයන් වහන්සේගේ අවවාද

“අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ
දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං
දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ
දුල්ලභා ඛනසම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්මසවනං
දුල්ලභෝ සප්පුරිසසංසේවෝ”

 

මේ කාලය දහම් පොතපත බහුල බහුමාධ්‍ය ආදී ශිල්ප ක්‍රමවලින් ධර්මය ඇසීමට කියවීමට පහසු කාලයක් නොවේද? මේ කාලයේ සැදැහැවත් බෞද්ධයෙකුට ගැටලුවක් විය හැක්කේ පිළිවෙත කෙරෙහි සමාජයේ ඇති උදාසීන සහ නොවැදගත්ය යන ආකල්පයයි. ඒ තරග දිවුමේ යෙදෙන සමූහයට බුදු දහමත් ඊලඟ ජාතියේ මේ ජාතියට වඩා කම්සැපත වඩාගැනීමට ලැබුණු ක්‍රමයක් වී ඇත්තේ ය.

හැම දෙයකම මුල…

කිං මූලක සුත්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වග්ගයේ සඳහන් වෙයි. පැරණි දඹදිව අන්‍යාගමික පැවිද්දන්, තවුසන් අතර ගොඩනගාගෙන තිබූ දාර්ශනික ප්‍රශ්න බව සිතිය හැකි මේවාට බුදුදහමට අනුකූලව දෙනු ලබන සිත්ගන්නාසුළු පිළිතුරු කිහිපයකි.

භාග්‍යවතුන්වහන්සේ:
මහණෙනි නුඹලාගෙන් මේ ප්‍රශ්න විමසන අන්තොටු පැවිද්දන්ට කෙසේ පිළිතුරු දෙන්නෙහුද?

කිං මූලකා ආවුසෝ සබ්බේ ධම්මා, “ඇවැත්නි, හැමදෙයකම මුල කුමක්ද?”
කිං සම්භවා සබ්බේ ධම්මා, “හැමදෙයක්ම උපදින්නේ කුමකින්ද?”
කිං සමුදයා සබ්බේ ධම්මා, “හැමදෙයකම පැනනැගීම කුමකද?”
කිං සමෝසරණා සබ්බේ ධම්මා, “හැමදෙයක්ම එකතුවන්නේ කුමකද?”
කිං පමුඛා සබ්බේ ධම්මා, හැමදෙයකටම පෙරටුවෙන් ඇත්තේ කුමක්ද?”
කිං ආධිපතෙයි‍යා සබ්බේ ධම්මා, හැමදෙයකටම අධිපතිව ඇත්තේ කුමක්ද?”
කිං උත්තරා සබ්බෙ ධම්මා, “හැමදෙයකටම උතුම් කුමක්ද?”
කිං සාරා සබ්බේ ධම්මා, “හැමදෙයකම සාරය කුමක්ද?”

භික්ෂූහු:
“අපගේ ධර්මය භාග්‍යවතුන්වහන්සේම මුල්කොට ඇත්තේය.. අපට නෙත් වැනිය.. පිළිසරණය භාග්‍යවතුන්වහන්සේටම මේ කාරණයට පිළිතුරත් වැටහේවා ඒ අනුව දරා ගනිමු”

භාග්‍යවතුන්වහන්සේ:
ඡන්ද මූලකා ආවුසෝ සබ්බේ ධම්මා, “ඇවැත්නි, හැමදෙයකම මුල ඡන්දය (කැමැත්ත) ය”
මනසිකාර සම්භවා සබ්බේ ධම්මා “හැමදෙයක්ම උපදින්නේ මෙනෙහි කිරීමෙනි”
ඵස්ස සමුදයා සබ්බේ ධම්මා “හැමදෙයක්ම පැනනගින්නේ ස්පර්ශයෙනි”
වේදනා සමෝසරණා සබ්බේ ධම්මා “හැමදෙයක්ම එකතුවන්නේ වේදනාවෙහිය”
සමාධි පමුඛා සබ්බේ ධම්මා හැමදෙයකටම සමාධිය පෙරටුවෙන් ඇත්තේය”
සතාධිපතෙයියා සබ්බේ ධම්ම “හැමදෙයකටම සිහිය අධිපති වෙයි”
පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා “හැමදෙයකටම උතුම් ප්‍රඥාවයි”
විමුත්තිසාරා සබ්බේ ධම්මා “හැමදෙයකම සාරය විමුක්තියයි”

නිවනේ නිවීම 9
The roots of everything

%d bloggers like this: